මීතොටමුල්ල කුණු කන්ද පිපිරීමේ අවදානමක් නෑ
April 26, 2017 04:24 pm
මීතොටමුල්ල කසළ කන්ද පිපිරීමේ අවදානමක් නොමැති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මීතේන් හිර වීමෙන් පිපිරීම් සිදුවන බවටත්, කසළ කන්ද නාය යන බවටත් වැරදි දත්ත පදනම් කර ගනිමින් විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරන පුද්ගලයින්ගේ අදහස් සමාජ ගත වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
කසළ කන්ද පිපිරීමේ කිසිඳු අවදානමක් නොමැති බව අමාත්‍යවරයා වැරදි දත්ත පදනම් කර ගනිමින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක් කරයි.
මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් ක්‍රියාත්මක විද්‍යාත්මක හා ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ඊට අදාළව කමිටු 3ක් ආශ්‍රිතයෙන් අදියර 12 කින් කටයුතු කිරීම ආරම්භ කර ඇති අතර ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පතල් කැනීම් කාර්යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යංශය, මධ්‍යම ඉංජිනේරු ආයතනය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මෙම වැඩපිළිවෙළට පූර්ණ වශයෙන් දායක වන බව අමාත්‍යවරයා කියා සිටියේය.
