හිරුණිකාගේ නඩුවේ සාක්ෂි විභාගය කල්යයි
April 26, 2017 03:55 pm
දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම ඇතුළු අධි චෝදනා යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු නව දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය කල්තැබීමට මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව අද(26) කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා නියෝග කර ඇත්තේ ලබන නොවැම්බර් මස 06 වන දා දක්වා සාක්ෂි විභාගය කල් තබන බවයි.
නඩුවේ සාක්ෂි විභාගය අද පැවැත්වීමට නියමිතව තිබූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2015 දෙසැම්බර් 21 වනදා ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ නඩුව පවරා තිබේ.
නඩුවේ පළමු විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් 8 දෙනා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
පළමු විත්තිකරු දැඩි ලෙස රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව අනාවරණය වීම නිසා සාක්ෂි විභාගය කල්තැබූ මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට එහිදී නියෝග කර ඇති බව සඳහන්ය.
