පින්නවල අලි ඇතුන් හදාගන්න දෙන්න සැලසුම්

පින්නවල අලි ඇතුන් හදාගන්න දෙන්න සැලසුම්

April 26, 2017   03:38 pm

පින්නවල අලි අනාථාගාරයේ රඳවා ඇති අලි ඇතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ.

මෙම අලි අනාථාගාරයේ අක්කර 30ක් වූ මුළු භූමි ප්‍රමාණය තුළ වර්තමානයේ අලින් 88 දෙනෙකු රඳවා ඇති බවත්, මෙම සීමිත භූමි ප්‍රමාණය තුළ එම සතුන් 88 දෙනා නඩත්තු කිරීම දුෂ්කර බවත්, ඒ අනුව මෙම සතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට කැබිනට් මණ්ඩල්‍ය වෙත යොමු කළ යෝජනාවකට අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන්ගෙන් කොටසක් නිශ්චිත කොන්දේසි වලට යටත්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් ‍ සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ආයතන වෙත ලබා දීමටත්, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින්  තීරණය කර තිබේ.

එසේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරනු ලබන අලි ඇතුන් සංචිතයක් මඟින් පෙරහැර සඳහා හීලා අලිඇතුන් ලබාදීමත්, හීලෑ අලිඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සැලසීම සඳහා නියෝග නිකුත් කිරීමත් සඳහා වූ නිර්දේශද අනුමත කර තිබේ.