වරාය අධිකාරියේ හිටපු සභාපතිට රටින් පිට වෙන්න අවසර
April 25, 2017 05:15 pm
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතාට දින 19 ක කාලයක් විදෙස් ගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
ලබන මැයි මස 13 වනදා සිට 31 වනදා දක්වා ප්‍රියත් බන්දුවික්‍රම මහතාට සිංගප්පූරුවට යාමට කොළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අවසර ලබා දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් 319 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු සිදුකල බවට ප්‍රියත් බන්දුවික්‍රම මහතාට එරෙහිව චෝදනා ගොණු කර තිබේ.
එම චෝදනාවට අදාලව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දුවික්‍රම මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර පෞද්ගලික කටයුත්තක් සඳහා සිය සේවා දායකයාට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස ප්‍රියත් බන්දුවික්‍රම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරුට සිංගප්පූරුවට යාමට අවසර ලබා දී තිබේ.
මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන ජුනි මස 13 වන දා විභාගයට ගැනීමට ද දින නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.