පිළිකා ඖෂධ ටෙන්ඩරයෙන් විශේෂඥ වෛද්‍යවරු ඉවත් වී නැහැ

පිළිකා ඖෂධ ටෙන්ඩරයෙන් විශේෂඥ වෛද්‍යවරු ඉවත් වී නැහැ

April 25, 2017   02:01 pm

පිළිකා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඉවත්ව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ටෙන්ඩර් මණ්ඩලයෙන් ඔවුන් ඉවත්ව ඇති බවට පළ වූ  වාර්තා පිළිබඳ අදහස් පළ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඖෂධ මිල අඩු කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ටෙන්ඩර්වල සිදුව ඇති දූෂණ වංචා නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර විෂමාචාර සිද්ධීන්ට සම්බන්ධ ඖෂධ සමාගම්වලට නීති රීති පැනවීමට ද කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එවැනි ඇතැම් ඖෂධ සමාගම් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ජනතාව නොමඟ යවන බව රාජිත සේනාරත්න මහතා මෙහිදී කියා සිටියේ ය.

පිළිකා ඖෂධ ටෙන්ඩර් මණ්ඩලය තුළ ගැටලුවක් ඇති වී නොමැති බව අතිරේක ලේකම් වෛද්‍ය එම්.ආර්. සියඹලාගොඩ මහතා තමන් වෙත දැනුම් දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.