අද දවස තුළ ඉන්ධන සැපයීම යථා තත්ත්වයට
April 25, 2017 01:15 pm
දිවයින පුරා ඉන්ධන සැපයීමේ කටයුතු අද (25) පස්වරුව වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපති ෂෙහාන් සෙනෙවිරත්න මහතා පවසයි.
ඛනිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ඊයේ (24) දිනයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා ඉන්ධන සැපයිමේ කටයුතුවලට බාධා එල්ල වී තිබුණේ ය.
මේ අතර ඉන්ධනහල්වල ඉන්ධන නොමැතිවිම හේතුවෙන් අද උදෑසන කාලයේදී ද ඉන්ධන ලබාගැනීමට පැමිණි රථ වාහන රියදුරන් දුෂ්කාරතාවට පත්ව සිටිනු දක්නට ලැබිණි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපති ෂෙහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉන්ධන සැපයුම අද දහවල් වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
පස්වරුව වන විට දිවයිනේ සෙසු ප්‍රදේශවල ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කිරිමට හැකි වනු ඇති බව ද සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ය.
