දෙවන පාසල් වාරයට සිසුන් දැනුවත් කිරීමට උපදෙස්

දෙවන පාසල් වාරයට සිසුන් දැනුවත් කිරීමට උපදෙස්

April 25, 2017   07:31 am


දෙවන පාසල් වාරය ආරම්භ කිරීමත් සමග පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට හා පවතින උණුසුම් සහිත කාලගුණයට මුහුණදීමට සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.

 දෙවන පාසල් වාරය සඳහා හෙට දිනයේ පාසල් ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව දෙමාපියන්, ආදි ශිෂ්‍ය ප්‍රජාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, පළාත් පාලන නිලධාරීන්ගේ ද සහය ලබාගනිමින් පාසල් පරිසරය මදුරුවන්ගේ සහ කසළවලින් තොර පරිසරයක් බවට තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

එමෙන්ම පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය නිසා ඇති වන අපහසුතා වළක්වා ගැනීමට පාසල් සිසුන් එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදවීම අවම කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

ජලය පානය කිරීමට සිසුන් යොමුකරවීම වැඩි කරවීමටත් හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි හිස් වැසුම් කුඩ ආදිය භාවිතයට පාසල් සිසුන් පෙළඹවීමටත් පාසල් බලධාරින් පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

 පානීය ජල පහසුකම් ලබාදීම සඳහා පාසල් වල පිහිටුවා ඇති ජල ටැංකිවල පවිත්‍රතාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.