බෝට්ටුවේ ගෑස් ටැංකිය පුපුරා එක් අයෙක් මරුට-හතර දෙනෙකුට තුවාලයි
April 24, 2017 06:37 pm
හම්බන්තොට ධීවර වරායෙන් මුහුදුයාම සඳහා සූදානමින් සිටි ධීවරයින් පස්දෙනෙකු සහිත බෝට්ටුවක් තුළ තිබු ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් එහි සිටි එක ධීවරයෙකු මියගොස් තවත් ධීවරයින් හතර දෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුළත් කර තිබේ .
අනතුරින් මියගොස් ඇත්තේ හම්බන්තොට මරේ පාරේ පදිංචිව සිටි එම් , රවුෆ් දීන් නැමති වයස අවුරුදු 51 ක දෙදරු පියෙකු වන අතර සිද්දියෙන් බරපතළ තුවාල ලැබීමෙන් පසු ඔහු හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහිදී ඔහු මියගොස් ඇති බවත් අප වාර්තාකරු පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ අසල සිටි චන්දන හේමන්ත මෙසේ පවසයි.
'' මම එහාපැත්තෙ බෝට්ටුවක් ගැට ගහ ගහ හිටියේ එතකොට එකපාරටම ලොකු සද්දයක් ආවා. මම ටග්ගාලා ඇවිල්ලා බැලුවා. එතකොට මෙතන ගෑස් එකක් පුපුරලා ගිහින්. එක්කෙනෙක් මුහුදට වැටිලා හිටියා. එයා තමයි දැන් මැරිලා තියෙන්නේ .''
කෙසේ නමුත් මේම අනතර සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියද පරීක්ෂණයක් අරඹා ඇති අතර අනතුරෙන් මියගිය අය හා තුවාල ලැබූ ධීවරයින් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට මහරෝහලට ගොස් තිබේ.
