චිත්‍රපට බෙදාහරින්න ස්වාධීන නියාමන මණ්ඩලයක් පිහිටුවිය යුතුයි

චිත්‍රපට බෙදාහරින්න ස්වාධීන නියාමන මණ්ඩලයක් පිහිටුවිය යුතුයි

March 2, 2017   09:08 am



චිත්‍රපට බෙදාහැරීම සඳහා ස්වාධීන නියාමන මණ්ඩලයක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම සංගමයේ සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතා සඳහන් කළේ ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදැහැරීමේ කටයුතු වලින්  ඉවත් විය යුතු බවයි.

“ලාංකේය සිනමාව අනතුරේ, රැකගන්න එකතුවෙමු“ යන තේමාව යටතේ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් බෙනට් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

එම මාධ්‍ය හමුවට එක්වූ සෝමරත්න දිසානායක මහතා අදාළ යෝජනාව විවේචනය කිරීමත් සමඟ බෙනට් රත්නායක මහතා සහ ඔහු අතර  වචන හුවමාරුවක්ද සිදු වුණි.

චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාද එම කතාබහට එක්වූ අතර සෝමරත්න දිසානායක මහතා සහ බෙනට් රත්නායක මහතා අතර යළිත් ඒ පිළිබඳව සංවාදයක්  ඇති වුණි.