වාහන නෑ - හිටපු ජනපතිගේ ප්‍රවාහන අධ්‍යක්ෂට මාංචු
February 17, 2015 12:26 pm
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අස්ථානගත වීමේ චෝදනාව මත එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කීර්ති සමරසිංහ දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අස්ථාන ගතවීමේ චෝදනාව මත අදාළ පුද්ගලයාට රටින් පිටවීම වළක්වන නියෝගයක් ද පසුගිය 26දා කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදී තිබුණි.
මේ අතර සැකකරු උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ වැඩබලන මහේස්ත්‍රාත්ගේ නියෝග මත බදාදා ( 18) වන තෙක් රිමාන්ඩ් කර තිබේ.
ජනාධිපති කාර්යාලය සතු රුපියල් ලක්ෂ 50 ක් වටිනා වාහන තුනකට වූයේ කුමක්දැයි ප්‍රකාශ කිරීමට ඔහු අපහසු වී ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා ඇතැයි සඳහන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබූ අතර ජනාධිපති කාර්යාලයේ වැඩ බලන නිලධාරියකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව මෙම ඉල්ලීම කර තිබිණ.
ජනාධිපති කාර්යාලයෙන් අතුරුදන් වාහන සංඛ්‍යාව සීයද, දෙසීයද ලක්ෂයක්ද කියා කිව නොහැකි යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පවසා තිබුණි.
ස්ථාවර නියෝග 23/2 යටතේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් වාහන සංඛ්‍යාව කොතෙක්දැයි ප්‍රශ්නයක් නැගූ අතර ඊට පිළිතුරු ලෙස හෙතෙම මේ බව පැවසීය.
ලිපි ගොනු වලින් කොපමණ සංඛ්‍යාවක් තිබුණා දැයි සොයා ගත හැකි නේදැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එහිදී විමසන ලදී.
එම අවස්ථාවේ අගමැතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ ලිපි ගොනුවක්වත් නැති බවයි.
වාහන හැමතැනින්ම ලැබෙන බවත්, වාහන කීයක් තිබුණා ද කියා අපි කිසිකෙනෙක් දන්නේ නැති බවත්,
මේ ගැන සොයන්න සීඅයිඩීයට බාරදී ඇතැයිද හෙතෙම එහිදී කියා සිටියේය.
ඊට අදාළ වීඩියෝව පහත පරිදිය.
