ශ්‍රීලනිප සභාපතිධූරය මෛත්‍රීට! - පක්ෂ ව්‍යවස්ථාව  නිමල් එදා පැහැදු හැටි

ශ්‍රීලනිප සභාපතිධූරය මෛත්‍රීට! - පක්ෂ ව්‍යවස්ථාව නිමල් එදා පැහැදු හැටි

January 15, 2015   09:22 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබේ.

ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබාදීමට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර ඇත.

ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ තමන් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට අපේක්ෂා කරන බවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව අද දිනයේ රැස්වී මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට ද තීරණය වී ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද ‍මත බේදයකට තුඩු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

හිටපු අමාත්‍යවරයා එහිදී කළ ප්‍රකාශය ඒ පරිද්දෙන්ම පහත දක්වා ඇත.


“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ “ සභාපති” කියන අනුච්ඡේදය යටතේ තියෙන දේ මම කියවන්නට කැමති.
එහි ඉතාම පැහැදිලියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයක් වන සන්ධානය හෝ දේශපාලන පක්ෂයක් නි‍යෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අපේක්ෂකයෙකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනපති ධූරයට තෝරාපත් කර ගනු ලබන අවස්ථාවකදී, එසේ තෝරාපත් කරගන්නා වූ විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙයි.
සභාපති ධූරයට නිල බලයෙන් පත්වෙන්නට නම් එම අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නි‍යෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තහනම් කරන ලද සන්ධානයේ පාර්ශව‍ පක්ෂයක් විසින් ඉදිරිපත් නොකරන ලද සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් කරන ලද හා සන්ධානය නම් කරන ලද අපේක්ෂකවරයාට එරෙහිව තරඟ කරන ලද අපේක්ෂකයෙකු ජනාධිපතිධූරයට පත්වුණාට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධූරයට පත්වීමට කිසිම නීත්‍යානුකූල හිමිකමක් මේ ව්‍යවස්ථාව යටතේ නෑ.
ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එසේ පත් කරා කියලා කියනවා නම් එය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී පත්වීමක් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.”

2015.01 .11 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.