ගබඩා හිස්වනතුරු තෙල් ආනයනය කර නෑ - පරීක්ෂණයක් පවත්වන්න සූදානම්

ගබඩා හිස්වනතුරු තෙල් ආනයනය කර නෑ - පරීක්ෂණයක් පවත්වන්න සූදානම්

May 15, 2013   02:26 pm

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

තෙල් පිරිපහදුවේ දැනට ඇතිවී ඇති ගැටළුව සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ බොරතෙල් පිරිපහදුවේ ගබඩා හිස් වන තුරුත් බොරතෙල් අනයනය නොකිරීම බරපතළ ගැටළුවක් බවයි.

මෙරටට අවශ්‍ය බොර තෙල් ගෙන්වීම සදහා තමන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබූ බව ද අමාත්‍යවරයා අද දෙරණ සමග කියා සිටියේය.

කෙසේ වෙතත් පිරිපහදුවේ කටයුතු නැවැත්වීමට සිදු වුවද කිසිදු හිඟයකින් තොරව ඉන්ධන ලබා දිය හැකි බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

නැව් ගතකළ බොරතෙල් ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් අද සිට තෙල් පිරිපහදු කිරීමේ කටයුතු නැවැත්වීමට එම සංස්ථාව තීරණය කර තිබේ.

මෙම කාලසීමාව තුළ සපුගස්කන්ද පිරිපහදුවේ පවතින අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමට සංස්ථාව තීරණය කර ඇති බව එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී අජිත් ධර්මප්‍රිය මහතා සදහන් කළේය.

පිරිපහදුකරන කටයුතු තාවකාලිකව නතර කළ ද ඉන්ධන කිසිදු හිඟයකින් තොරව සැපයීමට හැකියාව පවතින බව අජිත් ධර්මප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.