ඔසුසැල් වායුසමීකරණය කළ යුතුමයි

ඔසුසැල් වායුසමීකරණය කළ යුතුමයි

May 1, 2013   03:40 pm

දිවයින පුරා පවතින සියලුම පෞද්ගලික ඔසුසැල් වල වායුසමන යන්ත්‍ර ක්‍රියාත්මක කර තැබීම අනිවාර්ය කර තිබේ.

විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසන්නේ මේ දින වල පවතින අධික උෂ්නත්වය හේතුවෙන් ඖෂධ වල රාසායනික වෙනස්කම් හා ගුණාත්මක භාවයට හානි සිදුවන බවයි.

ඖෂධ වල ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා එම ඖෂධ සෙල්සියස් අංශක 25 ට අඩු උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තැබීම අත්‍යවශ්‍යය බව ඒ මහතා පෙන්වා දෙයි.

දැනට දිවයින පුරා පෞද්ගලික ඔසුසැල් වලින් සියයට 90 කට වැඩි සංඛ්‍යාවක් වායු සමනය කර තිබුණ ද ලාභ ඉපයීමේ අරමුණින් ඒවායේ දිවාකාලයේ දී වායු සමන යන්ත්‍ර ක්‍රියාත්මක නොකරන බවට තොරතුරු ලැබී ඇති බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ කොළඹ අවට ඔසු සැල් 20 ක් පමණ පරීක්ෂා කිරීමට අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර ඉන් ඔසුසැල් 08ක ම වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කර නොතිබූ බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මේ හේතුවෙන් එම ඔසුසැල් වල තිබූ ඖෂධ සියල්ලම අධිකාරිය බාරයට ගෙන ඇති අතර එහි හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු යොදා ඇති බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා වැඩිදුරටත් සදහන් කළේය.