කාසල් රෝහලට කමිටුවක්

කාසල් රෝහලට කමිටුවක්

April 26, 2013   02:47 pm

කොළඹ, කාසල් වීදියේ, කාන්තා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සෙසු කාන්තාවන් 8 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට යහපත් අතට හැරී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

කෙසේ වුවද උණ සන්නිපාතය වැළඳී එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් මියයාමෙන් පසු එම ඒකකය තාවකාලිකව වසා දැමීමට රෝහල් පාලනාධිකාරීය පසුගිය 23 වැනිදා පියවර ගත්තේය.

පිරිසිදු කිරීමේ කටයුතු නිසා එම රෝහලේ දැඩිසත්කාර ඒකකය මේවන විට තාවකාලිකව වසා දමා තිබේ.

එකී සිද්ධිය සම්බන්ධය සොයා බැලීමට කමිටුවක් පත්කර ඇතැයි වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (26) ජාතික ප්‍රතිශක්තිකරණ සතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති සාකච්ඡාවකදී පැවසීය.

කාසල් රෝහලේ විෂ බීජය "ඉන්ෆ්ලුවන්සා ඒ" වෛරසය බව හඳුනාගෙන ඇත.

කෙසේ වුවද අසාධ්‍ය තත්ත්වයේ පසුවු තවත් මවක මිය ගිය අතර මව්වරුන් දෙදෙනෙකු මිය යාමෙන් පසුවත් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වූයේ මන්දැයි මාධ්‍යවේදියෙකු අද සාකච්ඡාවේදී වෛද්‍ය පාලිත මහීපාල මහතාගෙන් විමසා සිටියේය.

එහිදී ඔහු පැවසුවේ එම විෂ බීජය කුමක්දැයි තහවුරු කර ගැනීමෙන් පසු ඊට අදාළ පියවරගත් බවයි.

මේ අතර ‍සෞඛ්‍ය සේවාව සඳහා මේ වසරට රුපියල් බිලියන 125ක් වැය කරන බවත් ඉන් මිලියන 900ක් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ සඳහා වැය කරන බවද එම සාකච්ඡාවේදී අනාවරණය විය.