රෝගීන්ගේ තත්ත්වය ඥාතීන්ට කියන්න

රෝගීන්ගේ තත්ත්වය ඥාතීන්ට කියන්න

March 17, 2013   03:18 pm

රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු ඥාතීන් වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ රෝග තත්ත්වය පිළිබඳව ඥාතීන් විමසා සිටින අවස්ථාවලදී ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තීරණය ගෙන ඇත.

මෙම තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සියලුම රෝහල්වල අධ්‍යක්ෂවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා තීරණය කර තිබේ.

රෝගියෙකුගේ රෝග තත්ත්වය පිළිබඳ ඥාතීන්ට දැනුම්දීම රෝගී සත්කාර සේවයේ එක් කොටසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සහ හෙද කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.