බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු 

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට වැඩ වරදිනු ලකුණු 

July 17, 2026   12:09 pm

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අද (17) අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කළේය. 

ඒ අනුව 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරි පනතට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු කියාසිටියේය. 

උපුල් රෝහණ මහතා අවධාරණය කළේ, 2016 වසරේ සැප්තැම්බර් මාස නිකුත් කළ ගැසට් පත්‍රයේ පළමු උපලේඛනය අනුව මෙරට තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවය. 

කෙසේවෙතත් මෙය බුලත්විට අලෙවි කරන්න අපහසුතාවයට පත් කිරීමට සම්මත කරගත් නීතියක් නොවන බවත් මෙරට ජනතාව මුඛ පිළිකාවෙන් ආරක්ෂා කිරීමට සම්මත කරගත් නීතියක් බව ද හෙතෙම පැවසීය. 

වාර්ෂිකව මෙරටින් මුඛ පිළිකා රෝගීන් 1750ත් 1900ත් අතර පිරිසක් වාර්තා වේ.  

ඒ හේතුවෙන් මෙම නීතිය යළිත් සක්‍රීය කර ජනතාව අදාළ රෝගී තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීම මහජන පරීක්ෂකවරුන් අපේක්ෂා කරති. 

ඒ අනුව ඉදිරියේදී බුලත්විට සමග දුම්කොළ අලෙවි කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ඇත.

දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාර පනතේ මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමක් කළහොත් රුපියල් 2000ක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකි බවත් මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි. 

මෙරට ඇති සංස්කෘතිකමය කාරණා හේතුවෙන් අදාළ පනත යටතේ මේ දක්වා ඍජුව නීතිය ක්‍රියාත්මක නොකළ බවත් දැනුවත් කිරීම පමණක් සිදු කළ බවත් ඔහු කීය. 

මහජනතාවට නිවැරදිවීමට ප්‍රමාණවත් කාලයක් ලබා දුන් බැවින් ඉදිරියේදී අදාළ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත් දුම් සහිත දුම්කොළ අලෙවියට නීතියෙන් අවසර ලබාදී ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.