නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි 

නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යලි ඇරඹෙයි 

June 8, 2026   02:21 pm

වසරකට අධික කාලයක් නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී ය.

වසර 22ක් තිස්සේ මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීම සිදුකරන ලද පෞද්ගලික සමාගමේ නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මස අවසන් වීමත් සමග මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කර තිබේ. 

අංක තහඩු මුද්‍රණය සඳහා සුදුසු නව සමාගමක් තෝරාගැනීම වෙනුවෙන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ආරම්භ කල අතර, ඒ අනුව තෝරාගත් සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගිවිසුම්ගතව මෙම අංක තහඩු මුද්‍රණ කටයුතු යලි ආරම්භ කර ඇත.

මේ අනුව යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු සියලු වාහන කාණ්ඩයන්ට අදාල අංක තහඩු මුද්‍රණ කටයුතු අද දින සිට කඩිනම් කර ඇත.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,

"විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුල තාක්ෂණික කමිටු ඇගයීම් අනුව අදාල ආයතන තෝරා ගනිමින් ප්‍රමිතිගතව වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මුද්‍රණ කටයුතු නතර තර තිබූ අංක තහඩු ප්‍රමාණයත්, අලුතින් ලියාපදිංචි වන සියලුම වාහන සදහාත් අංක තහඩු දෛනිකව මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරනවා. අංක තහඩුවේ මුද්‍රණ කටයුතු අවසන් වූ විගස ඒ පිළිබද පැය දෙකක් තුල කෙටි පණිවිඩයක් මගින් වාහන හිමියාට දැනුම්දීමටත් නව වැඩපිළිවෙල යටතේ කටයුතු කර තිබෙනවා"