දිල්ලියේ ගින්නකින් 21ක් මරුට - 40කට වැඩි පිරිසකට තුවාල
June 3, 2026 02:00 pm
දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි හෝටලයක හටගත් දරුණු ගින්නකින් විදේශීය ජාතිකයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මහල් පහකින් යුත් මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේ පිහිටා තිබූ හෝටලයේ ආපනශාලාව තුළ අද (03) උදෑසන 8.50 ට පමණ මෙම ගින්න හටගෙන ඇත.
පසුව මෙම ගින්න ඒ අසල පිහිටි තවත් හෝටලයකට ද පැතිර ගොස් තිබේ.
ගිනි නිවන රථ සහ අනෙකුත් සහන සේවා ඒකක වහාම එම ස්ථානයට පිටත් කර හැරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඇතැම් පුද්ගලයන් තම ජීවිත බේරා ගැනීම සඳහා ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් පහළට පනින අයුරු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ වීඩියෝ දර්ශනවලින් දැකගත හැකි වේ.
ඔවුන් බිමට වැටීමේදී සිදුවන අනතුරු අවම කිරීම සඳහා ප්‍රදේශවාසීන් විසින් බිම මත මෙට්ට එලා තිබු බවද විදෙස් මාධ්‍ය පවසයි.
පටු වීදියක පිහිටි මෙම හෝටලය කාමර 25 කින් පමණ සමන්විත ව බව සඳහන් වේ.
එහි වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිල්ලි නුවරට පැමිණි විදේශිකයන් ඇතුළු අමුත්තන් 40 කට වැඩි පිරිසක් ලැගුම් ගෙන සිටි බව වාර්තා වේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිල්ලි වෙත පැමිණෙන විදේශිකයන් බහුතරයක් මෙවැනි හෝටල් හෝ නේවාසික ස්ථානවල රැඳී සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී හෝටලයේ සිටි බහුතරයක් නිදාගෙන සිටි බව පැවසේ.
