
රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයන් 13 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොල නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර් ඒශීයා සහ බතික් එයාර් ගුවන්යානාවලින් අදාළ චීන ජාතිකයින් මෙරටට පැමිණ ඇති බව 'අද දෙරණ' ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවේය.
ඒ අනුව, ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්තයේදී අදාළ දුම්වැටි තොගය සමඟ චීන ජාතිකයින් පිරිස රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මළු 22ක් තුළ තිබී දුම්වැටි එක් ලක්ෂ 89,600ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් දෙකෝටි 84 ලක්ෂ 40,000ක් පමණ වන බව සඳහන් වෙයි.
අදාළ චීන ජාතිකයින් 28ත් 45ත් අතර වයස් වල පසුවන ව්‍යාපාරිකයින් පිරිසක් වන බව ගුවන්තොටුපොල රේගුව සඳහන් කරයි.

















































