මාරක අනතුරු දෙකක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
May 18, 2026 11:05 am
දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තඹලගමුව, ත්‍රිකුණාමලය අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 174 කණුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් 78 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.
ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ගමන් ගත් පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු තඹලගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
එමෙන්ම කටුවන, වලස්මුල්ල මිද්දෙණිය මාර්ගයේ දී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මිද්දෙණිය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මහරුප්ප පාලම ආසන්නයේදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කටුවන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මෙලෙස මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුවන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
