සාමයේ සංකේතය වූ 'ආලෝකා' ‌ගැන ලොවම සංවේදී කළ කතාව

සාමයේ සංකේතය වූ 'ආලෝකා' ‌ගැන ලොවම සංවේදී කළ කතාව

April 21, 2026   11:47 am

2025-2026 වසරවල අමෙරිකාව පුරා පැවැත්වුණු "සාමය සඳහා වූ පා ගමනට" (Walk for Peace) එක්වෙමින් ලෝකයේම අවධානය දිනාගත් ඉන්දියානු සම්භවයක් සහිත 'ආලෝකා' නම් සුනඛයා, මේ වන විට සාමයේ සංකේතයක් බවට පත්ව සිටියි.

ඉන්දියාවේ වීදි සුනඛයෙකු ලෙස දිවි ගෙවූ 'ආලෝකා', 2022 වසරේදී ඉන්දියාවේ සාම චාරිකාවක නිරත වූ වියට්නාම-අමෙරිකානු බෞද්ධ හිමිවරුන් පිරිසකට මුලින්ම හමු වී තිබුණි.

පා ගමන ආරම්භයේ සිටම හිමිවරුන් පසුපස පැමිණි 'ආලෝකා', ගමන අතරතුර රිය අනතුරකට ලක්ව බරපතළ ලෙස රෝගාතුර වුවද, කිසිවිටෙකත් හිමිවරුන් අතහැර නොගියේය.

ආලෝකාගේ මෙම කැපවීම දුටු භික්ෂූන් වහන්සේලා ඔහුව හදා වඩා ගැනීමට තීරණය කර අමෙරිකාවට රැගෙන ගොස් තිබුණි.

2025 ඔක්තෝබර් 26 වන දින ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,300ක දැවැන්ත පා ගමනක් ටෙක්සාස්හි 'හුවොන්ග් ඩාවෝ' විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා 19 නමක් විසින් ආරම්භ කර තිබුණි.

මෙම ගමන පුරා උන්වහන්සේලා සමඟ පා ගමනින් මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී සහායක වාහනයක නැගී ගමන් කළේය.

කෙසේ වෙතත්, 2026 ජනවාරි මුලදී දකුණු කැරොලිනාවේදී ආලෝකාගේ පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට ශල්‍යකර්මයකට මුහුණදීමට සිදුව තිබුණි. 

වෛද්‍යවරුන් පවසා සිටියේ ඉන්දියාවේ සිටියදී සිදු වූ අනතුරක් නිසා ඔහුගේ දණහිසේ ඇති වූ ආබාධයක් මෙයට හේතු වී ඇති බවය.

ශල්‍යකර්මයෙන් පසු සති කිහිපයක් සීමිත පියවර සංඛ්‍යාවක් පමණක් ඇවිදීමට අවසර ලැබුණු ආලෝකා, ලේසර් ප්‍රතිකාර මගින් ඉක්මනින් සුවය ලැබීය.

2026 පෙබරවාරි 10 වන දින, වොෂින්ටන් නුවරින් අවසන් වූ මෙම දැවැන්ත සාම පා ගමනේ අවසන් පියවර කිහිපය තම ස්වාමි හිමිවරුන් අසලින්ම ඇවිද යමින් සම්පූර්ණ කිරීමට ආලෝකාට හැකි විය.

වසර ගණනාවක දුෂ්කරතා මධ්‍යයේ ඉන්දියාවේ සිට අමෙරිකාව දක්වා පැමිණි ආලෝකාගේ ගමන, අධිෂ්ඨානයේ සහ සාමයේ පණිවුඩය ලොවටම කියාපාන්නක් විය.

ආලෝකාගේ නළල මැද පිහිටා ඇති සුදු පැහැති හෘදයාකාර සලකුණ ඔහුට ලැබුණු ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවකි.

එය ආදරයේ සහ කරුණාවේ සලකුණක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති.

පා ගමන පුරා දහස් ගණන් ජනයා ඔහුව ස්පර්ශ කිරීමට සහ ඡායාරූප ගැනීමට පැමිණියද, ඔහු ඉතා සන්සුන්ව සහ ඉවසීමෙන් යුතුව ඔවුන් සමඟ සිටීම බොහෝදෙනාගේ පැසසුමට ලක්විය.

ආලෝකා ඉන්දියාවේ "Pariah" වර්ගයට අයත් සුනඛයෙකි.

දැනට ඔහුගේ වයස අවුරුදු 4ක් පමණ වන බව ගණන් බලා ඇත.

මේ අතර අපට වඩාත් සුවිශේෂී කරුණ වන්නේ 'ආලෝකා' අද දින (21) මෙරටට පැමිණීමයි.

ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන "සාමයේ පා ගමනට" සහභාගී වීම සඳහායි.

අද සිට 28 දක්වා පැවැත්වෙන මෙම පා ගමන රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වේ.

'ආලෝකා' දැන් ශ්‍රී ලංකාවේ සිටින බැවින්, ඉදිරි දින කිහිපය තුළ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි අංකුරයක් ද රැගෙන යන පා ගමනට ද සහභාගී වනු ඇත.

සාමාන්‍යයෙන් සතුන් ගුවන් යානයක ගෙන යනු ලබන්නේ භාණ්ඩ ගබඩාවේ වුවත්, 'ආලෝකා'ට විශේෂ අවසරයක් මත පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලම ගුවන් මගී මැදිරිය තුළ අසුනක් වෙන් කර තිබීම විශේෂත්වයකි.

"ආලෝකා" යන නාමයේ තේරුම "දිව්‍යමය ආලෝකය" යන්නය.

ඔහු අමෙරිකාවේ සාම පා ගමනේ නිරත වන විට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආදරය දිනාගත් බැවින් ඔහුට "Aloka the Peace Dog" යන නම පටබැඳුණි.

ආලෝකා ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ මෙම සාම චාරිකාව අන්තර්ජාලය තුළ දැවැන්ත ප්‍රසිද්ධියක් ලැබීය.

ඔවුන්ගේ ෆේස්බුක් පිටුව 2026 ජනවාරි මාසය වන විට අනුගාමිකයින් මිලියන 2ක් ඉක්මවා ගියේය.

මාර්තු මාසය වන විට එම සංඛ්‍යාව මිලියන 3කට ආසන්න විය.

ආලෝකා සහ භික්ෂූන් වහන්සේලාගේ සාමය සඳහා වූ පා ගමන ප්‍රධාන වශයෙන් රටවල් කිහිපයක් හරහා සිදු වූ අතර, එම ගමන ඉන්දියාවෙන් ආරම්භ වී ලෝකයේ විවිධ ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.

2022 වසරේදී ආලෝකා ඉන්දියාව පුරා සැතපුම් සිය ගණනක් වියට්නාම-අමෙරිකානු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ "සාම වන්දනාවේ ගමන් කළේය.

ඉන්දියාවේ සංචාරයෙන් පසු භික්ෂූන් වහන්සේලා ආලෝකාවව තායිලන්තය වෙත රැගෙන ගියහ.

අමෙරිකාවට ඇතුළු වීමට පෙර අවශ්‍ය වන වෛද්‍ය පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සඳහා ආලෝකා කාලයක් තායිලන්තයේ රැඳී සිටියේය.

ඉන්පසු අමෙරිකාව ගිය ආලෝකා වඩාත් ජනප්‍රිය වූයේ මෙහිදීය.

2025 ඔක්තෝබර් සිට  2026 පෙබරවාරි දක්වා ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,300ක දැවැන්ත පා ගමනට ඔහු එක් විය.

ටෙක්සාස්, ලුසියානා, මිසිසිපි, ඇලබාමා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්ත රැසක් හරහා ඔහු ගමන් කළේය.

'ආලෝකා' සහභාගී වන නවතම සාම චාරිකාව අද දින ආරම්භ කළේ ශ්‍රී ලංකාවේදීය.

ආලෝකා කොළඹ සිට අනුරාධපුරය දක්වා සහ පසුව කතරගම දක්වා පැවැත්වෙන සාම පා ගමනට එක්වීමට නියමිතය.

ඒ අනුව, 'ආලෝකා' මේ වන විට ඉන්දියාව, තායිලන්තය, අමෙරිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් හතරක සාමය උදෙසා ගමන් කර තිබේ.

මෙම සෑම රටකදීම ආලෝකාගෙන් පිළිඹිබු කළේ සතුන් සහ මිනිසුන් අතර පවතින අවිහිංසාවාදී සහ සහෝදරත්වයේ පණිවිඩයයි.