ස්ථාන දෙකකදී මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
April 20, 2026 09:09 am
ස්ථාන දෙකකදී දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ මෙම අනතුරු බෙන්තොට සහ කන්කසන්තුරය පොලිස් වසම් තුළින් ඊයේ (19) දිනයේදී වාර්තා වූ බවය.
ඒ අනුව ඊයේ උදෑසන බෙන්තොට පොලිස් වසමේ බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව බෙන්තොට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ මරණකරු අවුරුදු 25ක් වූ චුන්නාගම්, යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය.
මරණකරු මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වන අතර ඔහු තවත් සිසුන් පිරිසක් සමග දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මේ අතර කන්කසන්තුරය පොලිස් වසමේ කීරිමලෛ මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකුද ඊයේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 42ක් වූ තෙලිප්පලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තවත් පුද්ගලයෙකු සමග දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවට දැනට සිදුකරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.
මෙම අනතුරු සම්බන්ධව බෙන්තොට සහ කන්කසන්තුරය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
