
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදෙස් ජාතිකයෙකු අද (20) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර මීට පෙර අවස්ථා තුනකදීම ඔහු මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔහු මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන තායිලන්තයේ බැංකොක් නුවර වෙත රැගෙන විත් එතැන් සිට, අද අලුයම 12.55ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 13ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 08කට අයත් දුම්වැටි 229,800ක් අඩංගු දුම්වැටි කාටූන් 1,149ක් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හතලිස් හතර ලක්ෂ හැත්තෑ දහසක් බව ද සඳහන්.

















































