2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉහළ ගිය ප්‍රවේශපත්‍ර මිල ගණන්

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉහළ ගිය ප්‍රවේශපත්‍ර මිල ගණන්

April 18, 2026   04:50 pm

2026 වසරේ උතුරු අමෙරිකාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

ඔහු පවසන්නේ අම‍ෙරිකානු වෙළෙඳපොළ සාධකය සහ සංවිධානයේ මූල්‍ය අවශ්‍යතා මත මෙම මිල ගණන් තීරණය වී ඇති බවය.

නිව්යෝර්ක් නුවර පැවති ආර්ථික සමුළුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේ FIFA යනු ලාභ නොලබන සංවිධානයක් බවය.

ලෝක කුසලාන තරඟාවලිය යනු වසර හතරකට වරක් ෆිෆා ආයතනයට ආදායම් ලැබෙන එකම මාර්ගයයි. 

එම මාසයක කාලය තුළ උපයන මුදල ඉදිරි මාස 47 පුරා ලෝක පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වියදම් කරන බව ඔහු පැවසීය.

උපයන සියලුම ආදායම සාමාජික රටවල් 211 ක පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට යොදවන බවත්, ඉන් රටවල් හතරෙන් තුනක්ම පවතින්නේ ෆිෆා ආයතනය ලබාදෙන ආධාර මත බවත් ඔහු පෙන්වා දී තිබේ.

අමෙරිකාව "ඉතා සුවිශේෂී වෙළඳපොළක්" වන අතර, ඒ පිළිබඳව හැදෑරීමට තමා පසුගිය වසර කිහිපය තුළ එහි වාසය කළ බවද ඔහු සඳහන් කර තිබේ.

පවතින වාර්තාවලට අනුව, ප්‍රවේශ පත්‍ර මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

අමෙරිකාව සහ පැරගුවේ අතර පැවැත්වෙන සමාරම්භක තරඟයේ අවම ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 1,359ක් (රුපියල් ලක්ෂ 4කට අධික) වේ.

අවසන් මහා තරඟයේ ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 8,860 සිට ඩොලර් 25,000 දක්වා ඉහළ අගයක පවතී.

කෙසේ වෙතත්, සාමාන්‍ය ප්‍රේක්ෂකයින් සඳහා ෆිෆා ආයතනය විසින් ඩොලර් 60ක් වැනි අඩු මුදලකට සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් ද හඳුන්වා දී ඇත.

මෙවර ලෝක කුසලානය ඉතිහාසයේ දැවැන්තම තරඟාවලිය බවට පත්වන්නේ කණ්ඩායම් 48ක සහභාගීත්වයෙන්, අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේදී තරඟ 104ක් පවත්වමිනි.