පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීමට හේතු සොයා බැලෙයි
April 10, 2026 03:46 pm
කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බව අනාවරණ විය.
ඒ, පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය 07 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් මෙම කාරක සභාව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී නිලධාරිහූ පෙන්වා දුන්නේ, පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් දැනට සම්මත කොට ඇති 2017 අංක 17 දරන පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කොට්ඨාස සීමා නිර්ණය ක්‍රියාවලිය මෙතෙක් අවසන් කර නොතිබීම හේතුවෙන් පැන නැගී ඇති නීතිමය බාධාව නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ගැටලුව මතුව ඇති බවය.
කොට්ඨාස සීමා නිර්ණ වාර්තාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි නොවීම හේතුවෙන් එකී පනතේ විධිවිධාන ප්‍රකාරව මීළඟ පියවර ලෙස කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් 5දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත්කර තිබේ.
එම කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ජනාධිපතිවරයාට භාර දියයුතු වුවත් එම වාර්තාව භාරදී නොමැති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීහු විශේෂ කාරක සභාවට දැන්වූහ.
ඒ අනුව පනත ප්‍රකාරව පළාත් සභා ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවද ඔවුහු වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසූහ.
ඒ අනුව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම මූලික පනත නැවත බලගැන්වීම ඔස්සේ සිදුකිරීමේ හැකියාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසූහ.
ඒ අනුව 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත අවලංගු කර නැවත මූලික පනත බලාත්මක කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.
එම පනත සඳහා කාන්තා සහ තරුණ නියෝජනය ලබාදීම සඳහා සංශෝධන එක්කිරීමේ අවශ්‍යතාවයද කාරක සභා සාමාජිකයින් පෙන්වා දුන්හ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත මගින් ඉදිරිපත්කර ඇති පෙර පැවති සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡා කරන ලදී.
2017 පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන ) පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නඩු තීන්දු දෙකක වාර්තා, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට පවතින බාධා සහ ඒවා නිරාකරණය කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න වාර්තාවක් සකස් කර කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා එහිදී නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය.
එමෙන්ම මීළඟ රැස්වීම සඳහා සීමානිර්ණ කොමිසමේ නිලධාරීහු කාරක සභාවට කැඳවීමටද තීරණය කරන ලදී.
