දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමක්

April 7, 2026   10:21 am

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත පැය 2ක් තුළ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 80ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹුල්ල සහ අවට පොලිස් ස්ථානවල නිලධාරින් යොදවා මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් කිහිපදෙනෙකු සන්තකයේ තිබී ගංජා, හෙරොයින් ආදී මත්ද්‍රව්‍ය ද සොයාගත් බව පොලීසිය පැවසීය.

එමෙන්ම පොලීසිය සඳහන් කර සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණය මග හැර සිටින පිරිස් ද සිටින බවය.

පසුගිය කාලයේ නිරන්තරයෙන් ගොවීන්ගේ එළවලු තොග සොරා ගැනීම, වාහනවල අමතර කොටස් ගලවාගෙන යෑම ආදී සමාජ විරෝධී ක්‍රියාකාරකම් වාර්තා වීම හේතුවෙන් මෙම මෙහෙයුම සිදු කර ඇති බවද සඳහන්.