ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් කාන්තාවක් මරුට

ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් කාන්තාවක් මරුට

April 2, 2026   07:38 am

UPDATE- 8.20 AM

භූමිකම්පාව සිදුවී පැය දෙකකට පමණ පසු, ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

හවායි දූපත්හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් එ් බව සඳහන් කළේය.

ඔබුන් සඳහන් කර ඇත්තේ, "ලබා ගත හැකි සියලුම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව... මෙම භූමිකම්පාවෙන් එල්ල විය හැකිව තිබූ සුනාමි තර්ජනය මේ වන විට පහව ගොස් ඇති බව තහවුරු කළ හැකියි." බවය.

කෙසේ වෙතත්, මුහුදු රළ මට්ටමේ සුළු වෙනස්වීම් සිදුවිය හැකි බැවින් වෙරළාසන්න වැසියන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.


අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයෙන් යුත් නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් කාන්තාවක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

උතුරු සුලවේසි දූපතේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටීමක සුන්බුන්වලට යටවීමෙන් 70 හැවිරිදි මෙම කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් තහවුරු කර තිබේ.

මෙම භූකම්පනය හේතුවෙන් එහි කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) විසින් සිදුකර තිබුණි.

එසේ වුවද හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවය.

මුදාගැනීමේ කණ්ඩායම් විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගොඩනැගිල්ලේ සුන්බුන් මත සිටින ජනතාව මහත් කම්පනයෙන් සිටින අයුරු සහ එහි තිබූ ගෘහ භාණ්ඩ විසිරී ගොස් ඇති ආකාරය.

සහන සේවා කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටියි.

භූමිකම්පාවේ කේන්ද්‍රය ටර්නේට් 'Ternate' නගරයේ සිට කිලෝමීටර් 120ක් දුරින් පිහිටා තිබේ. ටර්නේට් යනු කුඩා වුවද 205,000කට අධික ජනගහනයක් වෙසෙන දූපතක් බව සඳහන් වේ.