2026 වසරේදී ශ්රී ලංකා රුපියල සියයට 1.6කින් අවප්රමාණය වෙයි
April 1, 2026 03:20 pm
2026 වසරේ ගතවූ කාලය තුළ ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.
මහ බැංකු දත්ත වලට අනුව, ඊයේ (31) දින වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක,
ගැනුම් මිල - රු. 311.76
විකුණුම් මිල - රු. 319.31
2026 පෙබරවාරි අග භාගයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මතුවූ බාහිර අංශයේ පීඩනයන්, රුපියල මෙලෙස අවප්රමාණය වීමට හේතු වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.
රුපියලේ අගය පහත වැටුණද, 2025 නොවැම්බර් මාසයේ සිට දක්නට ලැබුණු ප්රවණතාවය අඛණ්ඩව පවත්වාගනිමින් 2026 පෙබරවාරි මාසයේදී ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇත.
ඒ අනුව 2026 ජනවාරි-පෙබරවාරි කාලසීමාව තුළ වාර්තා වී ඇති සමුච්චිත අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 487 කි.
කෙසේවෙතත්, 2026 පෙබරවාරි මස “බාහිර අංශයේ ක්රියාකාරීත්වය” පිළිබඳ වාර්තාවට අනුව වෙළඳ හිඟය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව පුළුල් වී ඇත.
2025 මුල් මාස දෙකේ පැවති ඩොලර් බිලියන 1.1 ක හිඟය, 2026 එම කාලය තුළ ඩොලර් බිලියන 1.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පුද්ගලික සහ වාණිජ වාහන ආනයනය සඳහා පෙබරවාරි මාසයේදී පමණක් ඩොලර් මිලියන 194 ක් වැය වී ඇති අතර, වසරේ මුල් මාස දෙක තුළ සමස්ත වාහන ආනයන වියදම ඩොලර් මිලියන 418 කි.
චීන මහජන බැංකුව (PBOC) සමඟ ඇති හුවමාරු පහසුකම (Swap facility) ද ඇතුළුව, ශ්රී ලංකාවේ නිල විදේශ සංචිතය 2026 පෙබරවාරි අවසානය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.
විදේශ ණය සේවාකරණය අඛණ්ඩව සිදු කළද, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීම ඉහළ නැංවීම හේතුවෙන් සංචිත මට්ටම මෙලෙස වර්ධනය වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
