යුද්ධය නැවැත්විය හැක්කේ ට්‍රම්ප්ට පමණයි - ඊජිප්තු ජනපතිගෙන් ඉල්ලීමක්
March 30, 2026 08:29 pm
ඉරාන යුද්ධය නැවැත්විය හැකි එකම පුද්ගලයා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බවත්, එබැවින් යුද්ධය වහාම නතර කරන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල්-සිසි ඉල්ලීමක් කර තිබේ.
එසේම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 ඉක්මවා යනු ඇතැයි පවතින බිය අතිශයෝක්තියක් නොවන බවට ද ඔහු අනතුරු ඇඟවා ඇත.
කයිරෝ නුවර පැවැති ඊජිප්තු බලශක්ති ප්‍රදර්ශනය 2026 'Egypt Energy Show 2026' සමුළුව අමතමින් ජනාධිපති අබ්දෙල් ෆාටා අල්-සිසි මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
"මම ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිනවා, ගල්ෆ් කලාපයේ පවතින මෙම යුද්ධය නැවැත්විය හැක්කේ ඔබට පමණයි. කරුණාකර ජනාධිපතිතුමනි, අපට උදවු කරන්න. එය නැවැත්වීමේ හැකියාව ඔබ සතුව තිබෙනවා."
මෙම යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුම් හිඟයක් සහ මිල ඉහළ යාම් සිදුවන අතර එහි සම්පූර්ණ බලපෑම තවමත් දැනී නොමැති බව ඊජිප්තු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
"බලශක්ති නිශ්පාදන මධ්‍යස්ථාන හෝ පිරිපහදු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ලෝක ආර්ථිකයට සහ ඉන්ධන මිලට බරපතළ බලපෑමක් එල්ල කරනවා. බොරතෙල් බැරලයක මිල ඩොලර් 200 සීමාව ඉක්මවා යා හැකි බවට වෙළෙඳපොළ නිරීක්ෂකයින් කරන අනතුරු ඇඟවීම් අතිශයෝක්තියක් නොවෙයි," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මීට අමතරව, පොහොර අපනයනයට බාධා පැමිණීම හේතුවෙන් ගෝලීය ආහාර සැපයුම් අර්බුදයක් ඇති විය හැකි බවත්, එය මධ්‍යම ප්‍රමාණයේ සහ දුප්පත් ආර්ථිකයන් සහිත රටවල ස්ථාවරත්වයට දැඩි පහරක් වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතූ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ 'GCC' මහලේකම් ජසීම් මොහොමඩ් අල්බුදෙයිවි ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ බලශක්ති පද්ධතිවලට ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවය.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන GCC සාමාජික රටවල් දැනටමත් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට මුහුණ දී සිටින බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් කරන ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බවත් එහිදී අවධාරණය කර තිබේ.
