ක්‍රිකට් ක්‍රීඩකයන් 46කින් 19ක් 'Fitness Test' අසමත් ?

ක්‍රිකට් ක්‍රීඩකයන් 46කින් 19ක් 'Fitness Test' අසමත් ?

March 29, 2026   08:37 pm

නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධවලට ගොදුරුවීම සහ ඔවුන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩකයන් වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇත.

මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කිලෝමීටර 2ක දුර දිවීම සහ ස්කින් ෆෝල්ඩ් පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ 5කින් සමන්විතය.

ඒ එක් එක් පරීක්ෂණවලින් ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු අනුව සමස්ත ලකුණු ගණනය කෙරෙන අතර, ක්‍රීඩකයෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නම් ලකුණු 17ට වඩා ලබාගත යුතුය.

පසුගිය දින කිහිපයේ පැවති අදාළ පරීක්ෂණයෙන් සමත්ව ඇත්තේ ඊට සහභාගීවූ 46 දෙනෙකුගෙන් 27 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

පරීක්ෂණයේදී ලකුණු 0 සිට 16ට දක්වා ලබාගන්නා ක්‍රීඩකයන් අසමත් ලෙස සැලකෙන අතර, ‍ලකුණු 17 සිට 21 දක්වා මධ්‍යස්ථ ලෙසත්, ලකුණු 22 සිට 26 දක්වා ඉතා හොඳ ලෙසත්, ලකුණු 26 සිට 29 දක්වා විශිෂ්ඨ ලෙසත් කාණ්ඩ 4කට බෙදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, එම නිර්නායකයන්ට අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇත්තේ ක්‍රීඩකයන් 27 දෙනෙක් පමණක් බවය.

ඉන් ශාරීරික යෝග්‍යතාව අසමත් ලෙස සැලකෙන ලකුණු 0 සිට ලකුණු 16දක්වා සීමාවේ ක්‍රීඩකයන් 19ක් සිටින බව සඳහන්ය.

සමත්වූවන් අතරින් මධ්‍යස්ථ කාණ්ඩයේ ක්‍රීඩකයන් 16ක්, ඉතා හොඳ කාණ්ඩයේ ක්‍රීඩකයන් 9ක් මෙන්ම විශිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ, ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීම,ලීග් තරගවලට සහභාගීවීම මෙන්ම දේශීය තරගවලට ක්‍රීඩා කිරීමටද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම අනිවාර්ය බවය.

එමෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ දිගින් දිගටම අසමත් වන ක්‍රීඩකයින් තේරීම් සඳහා සලකා නොබලන බවද වාර්තා වේ.