රටේ ඉන්ධන සැපයුම ගැන තෙල් සංස්ථාවෙන් සහතිකයක්
March 28, 2026 02:27 pm
රට තුළ ඉන්ධන සැපයුම සම්පූර්ණයෙන් සහතික කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දැවි තෙල් සැපයුමද ස්ථාවර කර ඇති බැවින් විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් නොමැති බවය.
ඉදිරි දිනවලදී තවත් ඉන්ධන නැව් රැසක් මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේය.
එහිදී සභාපතිවරයා පවසා සිටියේ, ඩීසල් සැපයුම ලබන මාසයේ මැද දක්වා ගැටලුවකින් තොරව පවත්වාගෙන යා හැකි බවත් 92 හා 95 පෙට්‍රල් සැපයුම ජුනි මස ආරම්භය දක්වා සුරක්ෂිත බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා,
"නැව් දෙකක් ගොඩ බානවා 27 වනදා නැවක් එනවා එකේ එනවා 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 30000ක් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000ක් ඊට පස්සේ හෙට එනවා IOC නැවක් එකේ එනවා ඩීසල් මෙට්‍රික් ටොන් 18000ක් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000යි. ඊට පස්සේ අපිට 28, 29 නැවක් එන්න නියමිතව තිබුණා. ඒක කලින් ආවා දැන් ඒක ගොඩබාලා ඉවරයි. එකේ ඩීසල් මෙට්‍රික්ටොන් 37000ක්.
අපිට ගැටලුව වුණේ අර පිරිපහදුවට අවශ්‍ය තෙල්. පිරිපහදුවෙන් තමයි අපිට වැඩිපුර ඩීසල් සහ දැවි තෙල් හදන්නේ. එතකොට දැවිතෙල් නැති වුණොත් අනිවාර්යෙන් අපිට විදුලි කප්පාදුවකට යන්න වෙනවා. ඒ නිසා අපි දැවි තෙල්වලට ලංසු කැඳව්වා ඒකටත් අවිල්ලා තියෙනවා. එතකොට 2 වනදා සහ 4 වනදා අතර අපිට එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 32000ක්, ගුවන් යාන ඉන්ධන මෙට්‍රික්ටොන් 8000ක්
ඊට පස්සේ ආපහු 6 සහ 7 එන්න නියමිතයි ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක්, 7 සහ 8 එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 32000කුත් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 5000කුත්. ඊට පස්සේ 10, 11 එනවා ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක්, ඊට පස්සේ සිනොපෙක් එකේ නැවක් එනවා 18, 19 එකේ එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 20000ක් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 20000කුත්.
ඊට පස්සේ 12, 13 විදුලි උත්පාදනය සඳහා එන නැව එනවා. දැවිතෙල් මෙට්‍රික්ටොන් 30000ක නැවක්. ඊට පස්සේ 92 පෙට්‍රල් එනවා 16, 17 දිනවල මෙට්‍රික්ටොන් 35000ක නැවක්. අපහු අර් එම් පාර්ක් නැවක් එනවා 21, 22ක එකේ එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 20000ක් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 17000ක් 95 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000ක්.
ආපහු 24 සහ 25 දිනවල නැවක් එනවා ඩීසල් මෙට්‍රික්ටොන් 37000ක්, ආපහු 29 සහ 30 දිනවල නැවක් එනවා 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 30000කුත් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000කුත් අප්‍රේල් මාසයේ මේ නැවු සම්පූර්ණයෙන්ම අපිට ලැබෙනව එකේ ගැටලුවක් නෑ. ඒ එකකවත් යුද්ධය තියෙන කලාපයෙන් නෙමයි නැව්ගත කරන්නේ."
