ලෝකයම අර්බුද රැසක පැටලූ යුද්ධය අරඹා මාසයයි
March 28, 2026 12:42 pm
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කර අදට (28) මසක් සම්පූර්ණ විය.
ප්‍රහාර හේතුවෙන් ගතවූ කාලසීමාව තුළ මරණ 3,000කට වැඩියෙන් වාර්තාවන අතර, තුවාල ලැබූ ගණනද 30,000 ඉක්මවා ඇත.
ඉන් වැඩිම මරණ, තුවාල හා දේපොළ හානි ඉරානයෙන් වාර්තා වේ.
ඒ අනුව ඊයේ (27) දිනය වනවිට එරටින් මරණ 1,937ක් වාර්තා වී ඇති අතර, තුවාල ලැබූ ගණනද 24,800ක් දක්වා ඉහළගොස් ඇත.
කෙසේ නමුත් ඉරාන ප්‍රහාර හේතුවෙන් අමෙරිකාවේ සෙබළුන්ද 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 13 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.
එමෙන්ම ඉරානය විසින් ඊශ්‍රායලට එල්ලකළ ප්‍රහාරවලින් 19 දෙනෙකු මියගොස් 5,492 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙහිදී ඉරානය විසින් සිය ඍජු සතුරටන්ට අමතරව මැදපෙරදිග කලාපීය රටවල් 11කට ප්‍රහාර එල්ලකර ඇත.
එම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 11ක් මියගොස් 169ක් තුවාල ලබා තිබේ.
ඕමානයේද 3ක් මියගොස් 15ක් තුවාල ලබා ඇති අතර, බහරේනයේද තිදෙනෙකු මියගොස් ඇත.
ඉරාන ප්‍රහාරවලට ලක්වූ කුවෙට් දේශයෙන්ද මරණ 6ක් වාර්තාවන අතර, සෞදි අරාබියේද 20ක් තුවාල ලබා මරණ 2ක් සිදුව තිබේ.
තවද සිරියාවේ මෙන්ම පලස්තීනයේද මරණ 4 බැගින් වාර්තා වේ.
ඊට අමතරව ඉරානය කටාර් රාජ්‍යයට එල්ලකළ ප්‍රහාරවලින් 16ක්ද, ජෝර්දානයේට එල්ලකළ ප්‍රහාරවලින් 28ක්ද තුවාල ලබා තිබේ.
මේ අතර ඉරාකය ඉරාන ප්‍රහර මෙන්ම ඊශ්‍රායල හා අමෙරිකානු ද්විත්ව ප්‍රහාරවලට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් ඉරානයේ අසල්වැසියන් වන ඉරාකයේ සිදුව ඇති මරණ ගණනද සියයට (96) ආසන්න වී ඇත.
ඉරාකයේ ඉරාන මෙන්ම අමෙරිකානු හිතවාදී සිටීම දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාර එල්ලවීමට හේතුවී තිබේ.
මේ අතර ඉරානයට එරෙහි යුද්ධය ක්‍රියාත්මක වද්දි ඊශ්‍රායලය අසල්වැසි ලෙබනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමගද යුද්ධයක පැටලී සිටියි.
ඒ හේතුවෙන් ලෙබනනයේ 1,116කට දිවි අහිමි වී ඇති අතර, ඔවුන්ගේද 3,229ක් තුවාල ලබා ඇත.
