සතියේ සෑම බදාදා ටියුෂන් නවත්වන්න ඉල්ලීමක් පමණයි - නියෝගයක් නොවෙයි

සතියේ සෑම බදාදා ටියුෂන් නවත්වන්න ඉල්ලීමක් පමණයි - නියෝගයක් නොවෙයි

March 27, 2026   02:03 pm

සතියේ සෑම බදාදා දිනම සියළුම ආකාරයේ උපකාරක පන්ති අත්හිටුවන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා ගුරුභවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත්, එය කිසිලෙසක නියෝගයක් නොවන බවද ඔහු පැහැදිලි කර ඇත.

බදාදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර ඇත.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වැඩි ඉඩක් ලබාදීම සහ ඉන්ධන භාවිතය සුරක්ෂිතව කළමනාකරණය කිරීමේ අරමුණින් රජය විසින් විශේෂ තීරණ කිහිපයක් පසුගියදා ගෙන තිබුණි.

ඒ අනුව, නැවත දැනුම්දෙන තුරු සතියේ සෑම බදාදා දිනම රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නිවාඩුව රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහාද බලපැවැත්වේ.

මෙම තීරණය අධ්‍යාපන ක්ෂේත්‍රයටද ව්‍යාප්ත වන අතර, රජයේ, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්, පෙර පාසල්, පිරිවෙන්, වෘත්තීය හා උසස් අධ්‍යාපන ආයතන ඇතුළු සියලුම ආයතන සඳහාද අදාළ වන බව සඳහන් වේ.

එමෙන්ම, සියලු රාජ්‍ය උත්සව තාවකාලිකව අත්හිටුවීමටද තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයට හැකි තරම් මාර්ගගත ක්‍රමය යටතේ සේවකයින් යොදවා ගැනීමටද උපදෙස් ලබාදී ඇත.

කෙසේවෙතත්, සෞඛ්‍ය, බැංකු, විදුලිය, ජලය, වරාය, රේගු සහ ගුවන් සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙම නිවාඩු ක්‍රමය අදාළ නොවන බවද සඳහන් වේ.