ඉරාන නායකයින් සාකච්ඡා වලට පිවිස ඇති නමුත් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ට්‍රම්ප් කියයි

ඉරාන නායකයින් සාකච්ඡා වලට පිවිස ඇති නමුත් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව ට්‍රම්ප් කියයි

March 26, 2026   01:57 pm

ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය නායකයින් සාකච්ඡා මාර්ගයට පිවිස ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශ කිරීමට බියෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසයි.

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට ඉරාන නායකයින්ට දැඩිව අවශ්‍යතාව පැවතුන ද එවැනි ගිවිසුමකට එළඹුනහොත් එමගින් ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභ්‍යන්තර හා බාහිර ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ඔවුන් බියෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

විශේෂයෙන් ඔවුන්ගේම පාර්ශවයේ පිරිස් විසින් ඔවුන් මරා දමනු ඇතැයි බියෙන් සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඉරාන නායකයින් කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පවතින යුදමය තත්ත්වය පිළිබඳ ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වු බවට අමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයක දී ප්‍රකාශ කර තිබුණ ද ඉරානය විසින් එය ප්‍රකාශ කර තිබුණි. 

කෙසේවෙතත් අමෙරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය සමාලෝචනය කරන නමුත් අමෙරිකානු බලධාරීන් සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කර ඇත.

යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් ඉරානයට යෝජනාමාලාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒවාට එකඟ නොවු ඉරානය ද අමෙරිකාවට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබුණේ යුදමය වාතාවරණය අවසන් වන කාලසීමාවක් සම්බන්ධයෙන් තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය කරමිනි.

මේ අතර ඉරානය විසින් අමෙරිකානු යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ආසියානු වෙළෙඳපොළෙ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.