ලොවක් ආදරය කළ පුංචි බලු රැළේ අපූරු කතාව

ලොවක් ආදරය කළ පුංචි බලු රැළේ අපූරු කතාව

March 26, 2026   01:50 pm

සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ නිවැරදි නායකත්වය බොහෝ කාර්යන් සාර්ථක කර ගැනීමට නොමද දායකත්වයක් ලබා දෙයි.

මිනිස් ලෝකයට සාමාන්‍ය වූ මේ කාරණා සත්ත්ව ලෝකයෙන් අසා ඇත්තේ චිත්‍ර, කාටූන් වල පමණයි.

සොරකම් කර මස් පිණිස රැගෙන යමින් සිටි සුනඛයින් 07දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිය ජීවිත බේරාගෙන යළි නිවෙස් වෙත පැමිණි අපූරු පුවතක් අපට චීනයෙන් වාර්තා වුණි

සුනඛ මාංශ වෙළඳාම් තහනම් කරන ලද චීනයේ ජිලින් පළාතේ චැන්ග්චුන් නගරය අසල ගම්මානයකින් සුනඛයින් හත්දෙනෙකු සොරාගෙන  අධිවේගි මාර්ගය ඔස්සේ රැගෙන ගොස් තිබුණේ මාංශ පිණිස වෙළඳාම් කිරීමටයි. 

කිලෝ මීටර් 17ක් පමණ දුර ගෙවා යන අතරවාරයේ ඔවුන් රැගෙන යමින් තිබුණු ට්‍රක් රථයෙන් මේ සතුන් 07 දෙනා පැන තිබුණේ සිය ජීවිතවල වටිනාකම මැනවින් අවබෝධ කරගනිමින් ය. 

එක් සුනඛයෙකුගේ නායකත්වය යටතේ සියල්ලන් එක්ව අරඹන ලද මේ මෙහෙයුම ඔවුන් ජයගෙන තිබුණි. 

ඒ  සිය කණ්ඩායමේ කිසිවෙකු හෝ මඟනොහරමින් අධික කාර්යබහුල අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 17ක් දුරක් දින දෙකකට ආසන්න කාලයක්  ඇවිද යමින්ය.

ට්‍රක් රථයෙන් පනින අවස්ථාවේ තුවාල ලැබූ එක් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයාද තනි නොකරමින් අවසානයේ ඔවුන් සිය නිවාසවල ආදරණීයන් වෙත ළඟාවීමේ මේ සිදුවීම බොහෝ දෙනා සංවේදි කරන්නට සමත්ව තිබුණා. 

කෙසේවෙතත් සුනඛයන් සොරාගත් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අපූරු සංවේදි සිදුවීම සාමූහිකත්වය, කණ්ඩායම් හැඟීම සහ නිවැරදි නායකත්වයක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවට මිනිස් ලෝකයටද උගන්වන්නේ අපූරු පාඩමකි.