රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනයට දකුණු කොරියාවට අවසර
March 26, 2026 11:00 am
ගෝලීය ඉන්ධන අර්බුදය උග්‍ර වෙමින් පවතින පසුබිමක, අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම යටතේ රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනය කිරීමට තමන්ට අවසර ලැබී ඇති බව දකුණු කොරියාව තහවුරු කරයි.
දකුණු කොරියානු වෙළෙඳ, කර්මාන්ත සහ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කරන බව අමෙරිකාව මීට පෙර නිවේදනය කළ බවය.
කෙසේ වෙතත්, එම ක්‍රියාවලිය පිළිබඳව පැවති අවිනිශ්චිතතාවයන් සහ ගැටලු හේතුවෙන් සෝල් පාලනය වොෂින්ටනය සමඟ වැඩිදුරටත් සාකච්ඡා කර අදාළ කරුණු තහවුරු කරගත් බව ඔහු වැඩිදුරටත් පවසා ඇති බව සඳහන් වේ.
එම සාකච්ඡාවලට අනුව, අමෙරිකානු ඩොලර් නොවන වෙනත් මුදල් ඒකකවලින් ගෙවීම් සිදු කරන්නේ නම් රුසියානු බලශක්ති නිෂ්පාදන මිලදී ගැනීමට දකුණු කොරියාවට අවස්ථාව හිමි වේ.
මේ සඳහා "ද්විතීයික සම්බාධක" අදාළ නොවන බව ද තහවුරු කර ඇත.
පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පාලනය කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින අතර, මේ මස මුලදී රුසියානු තෙල් බැරල් මිලියන සිය ගණනක් සම්බාධකවලින් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබූ බව වැඩිදුරටත් සඳහන් වේ.
