හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම්
March 26, 2026 08:53 am
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරාන පාර්ලිමේන්තුවේ සිවිල් කටයුතු පිළිබඳ කමිටුවේ සභාපතිවරයා උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ, මේ වන විට අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර එය ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායකයේ නීති අංශය විසින් අවසන් කරනු ඇති බවටය.
"මෙම සැලසුමට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉරානය ගාස්තු අය කළ යුතුයි," යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙය ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක් බවයෙ. "වෙනත් ඕනෑම ප්‍රවාහන මාවතකදී මෙන්ම, භාණ්ඩ රටක් හරහා ගමන් කරන විට බදු ගෙවනු ලබනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ද එවැනිම මාවතක්. අපි එහි ආරක්ෂාව සහතික කරන බැවින්, නෞකා සහ තෙල් ටැංකි ඒ සඳහා ගාස්තු ගෙවීම ස්වාභාවිකයි," ඔහු වැඩිදුරටත් පවසා ඇති බව සඳහන් වේ.
දැනට පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි පහෙන් එකක් වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය මත තම බලය ක්‍රියාත්මක කිරීමට ඇති අයිතිය ජාත්‍යන්තරය විසින් පිළිගැනීමය.
