ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්තට ඇප

ශ්‍රීලන්කන් හිටපු සභාපති නිශාන්තට ඇප

March 24, 2026   05:22 pm

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට සිය අමාත්‍යංශය මගින් ඉන්ධන දීමනා වෙන්කර තිබියදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස ශ්‍රීලන්කන් සමාගමෙන් රුපියල් 28 ලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක මුදලක් මෙම සැකකරු විසින් ගෙවා තිබෙන බව පැවසීය. 

ආරම්භයේදී මාස් පතා රුපියල් 50,000 බැගින් ඉන්ධන දීමනා වශයෙන් ගෙවා ඇති අතර පසුව එම මුදල මසකට රුපියල් 75,000ක් දක්වා වැඩිකර තිබෙන බවත් එම කොමිසමේ නිලධාරියා කියා සිටියේය.

මේ තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බව එම නිලධාරින් පැවසීය. 

කෙසේ වෙතත් මෙම ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් අල්ලස් කොමිසම කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාල සැකකරු රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ අතර සැකකරුගේ විදේශ ගමන් කරන බවත් නියම කළේය. 

ඉන් අනතුරුව පැමිණිල්ල ජුලි මස 28 වන දා කැඳවීමටද නියම වුණි.