ලන්ඩනය සහ පැරීසියත් ඉරාන මිසයිලවල ඉලක්ක වෙයි ද? බටහිර රටවල් දැඩි විමසිල්ලෙන්

ලන්ඩනය සහ පැරීසියත් ඉරාන මිසයිලවල ඉලක්ක වෙයි ද? බටහිර රටවල් දැඩි විමසිල්ලෙන්

March 24, 2026   01:23 pm

ඉරානය විසින් ඉන්දියන් සාගරයේ පිහිටි ඒකාබද්ධ අමෙරිකානු - බ්‍රිතාන්‍ය යුද කඳවුරක් වන දියාගෝ ගාර්ෂියා 'Diego Garcia' ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයත් සමඟ, ඔවුන්ගේ මිසයිල බලය පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි පවසා තිබුණේ, පසුගිය සිකුරාදා (20) ඉරානය දියත් කළ මිසයිල දෙකෙන් එකක් අසාර්ථක වූ අතර අනෙක ආරක්ෂක පද්ධති මඟින් වෙඩි තබා බිම හෙළූ බවය.

දියාගෝ ගාර්ෂියා කඳවුර ඉරානයේ සිට කිලෝමීටර් 4,000ක් එනම් සැතපුම් 2,500ක් පමණ දුරින් පිහිටා ඇත.

මීට පෙර ඉරානය ප්‍රකාශ කර තිබුණේ, තමන් සතු මිසයිලවල උපරිම දුර කිලෝමීටර් 2,000කට සීමා කර ඇති බවය.

නමුත් මෙම ප්‍රහාරයත් සමඟ ඉරානය යුරෝපයේ ප්‍රධාන නගර වන ලන්ඩනය සහ පැරිසිය වෙත පවා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලබාගෙන ඇති බවට බටහිර රටවල් සැක පළ කරයි.

ලන්ඩනයට ඇති අවදානම

ආරක්ෂක විශ්ලේෂකයන් පවසන පවස්නේ ඉරාන මිසයිලයකට ලන්ඩනය දක්වා ළඟාවීමේ තාක්ෂණික හැකියාවක් පවතින බවය.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව අනීයත බියක් ඇති කරගත යුතු නැති බව ඔවුන් පෙන්වා දී තිබේ.

මෙයට හේතු කිහිපයක් ඇත,

නිරවද්‍යතාවය අඩුවීම: මිසයිලයක් ගමන් කරන දුර වැඩි වන විට එහි ඉලක්කය නිවැරදිව ලබා ගැනීම ඉතා අපහසු බව සඳහන් වේ.

ගුවන් ආරක්ෂක පද්ධති: පෝලන්තය සහ රුමේනියාව වැනි රටවල ස්ථාපිත කර ඇති නේටෝ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙවැනි මිසයිල ව්‍යර්ථ කිරීමේ හැකියාවක් ඇති බව පැවසේ.

තාක්ෂණික බාධා: දුර වැඩි වන විට මිසයිලය නැවත වායුගෝලයට ඇතුළු වීමේදී ඇති වන අධික තාපයට ඔරොත්තු දීමේ හැකියාව ඉරාන මිසයිල සතුද යන්න තවමත් සැක සහිත බව සඳහන් වේ.

ඉරානයේ අරමුණ කුමක්ද?

විශේෂඥයන් පවසන්නේ ඉරානය සිය අභ්‍යවකාශ වැඩසටහන සඳහා භාවිත කරන රොකට් තාක්ෂණය, දුරගමන් මිසයිල නිපදවීම සඳහා ද්විත්ව කාර්යයක් ලෙස භාවිත කරන බවය.

දියාගෝ ගාර්ෂියා වෙත එල්ල කළ ප්‍රහාරය හරහා ඉරානය පෙන්වා දී ඇත්තේ සති තුනක දැඩි බෝම්බ ප්‍රහාරවලින් පසුව පවා ඔවුන්ගේ මිසයිල බළකාය තවමත් ක්‍රියාකාරී මට්ටමේ පවතින බවය.

දැනට පවතින තත්ත්වය අනුව ලන්ඩනයට හෝ පැරිසියට එල්ල විය හැකි සෘජු තර්ජනය අවම මට්ටමක පවතින බව ආරක්ෂක අංශ නිගමනය කර ඇතත්, ඉරානයේ මෙම හදිසි පිබිදීම පිළිබඳව බටහිර ඔත්තු සේවා දැඩි අවධානයෙන් පසුව වන බව සඳහන් වේ.