ඊශ්‍රායලයේ බලශක්ති පද්ධති විනාශ කරන බවට ඉරානයෙන් ප්‍රකාශයක්
March 22, 2026 10:16 pm
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බල පද්ධතිවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් කළ තර්ජනයට ඉරාන හමුදාව දැඩි ප්‍රතිචාර දක්වා ඇත.
ට්‍රම්ප් "ත්‍රස්තවාදී ජනාධිපතිවරයෙක්" ලෙස හඳුන්වමින් ඉරානය සිය පහරදීමේ සැළසුම් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි 'Ebrahim Zolfaghari' අවධාරණය කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය දැනට වසා දමා නොමැති නමුත් එය තම පූර්ණ පාලනය යටතේ පවතින බවය.
අමෙරිකාව සිය තර්ජනය ක්‍රියාත්මක කළහොත් පහත සඳහන් ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ඉරානය අනතුරු අඟවමින් පවසා තිබේ.
හානියට පත් ඉරාන බලාගාර නැවත ගොඩනගන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිසේත්ම විවෘත නොකිරීම.
ඊශ්‍රායලයේ සියලුම විදුලි බලාගාර, බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉලක්ක කර මහා පරිමාණ ප්‍රහාර එල්ල කිරීම.
කලාපය තුළ පවතින අමෙරිකානු කොටස් හිමිකාරිත්වය සහිත සියලුම සමාගම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම.
අමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන කලාපීය රටවල බලශක්ති මධ්‍යස්ථාන ද නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකා ප්‍රහාර එල්ල කිරීම.
"හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇත්තේ සතුරන්ට සහ හානිකර ගමනාගමනයට පමණයි," යනුවෙන් පැවසූ ඔහු, ආරක්ෂක රෙගුලාසිවලට යටත්ව සිදුවන සාමාන්‍ය ප්‍රවාහනයට තවමත් බාධාවක් නොමැති බව ද සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
