හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ - මයුර නෙත්තිකුමාරගේ

හෙට සහ අනිද්දා පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නෑ - මයුර නෙත්තිකුමාරගේ

March 20, 2026   02:25 pm

හෙට සහ අනිද්දා දිනවලත් බෙදුම්කරුවන්ට ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

සෙනසුරාදා දිනයේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබෙන බවට මේ වන විට පුවතක් සංසරණය වන අතර එයට පාදක වී ඇත්තේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව සෑම මසකම එක් සෙනසුරාදා දිනයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වසා තැබීම වන බව ද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වය විශේෂ අවශ්‍යතාවයක් වීම සහ මෙම සෙනසුරාදා රාත්‍රියේ දී QR කේතය නැවත සැකසීම සිදුවන බැවින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විවෘතව පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

එමෙන්ම මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර සිටියේ යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඉරිදා දිනයේ වුවද තෙල් බෙදා දීමේ කට‍යුතු සිදු කළ හැකි අතර එහි කිසිදු ගැටලුවක් නොමැති බවය.

මේ අතර තොග පර්යන්ත සමාගම ද සෙනසුරාදා දිනයේ තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ හේතුවෙන් පාරිභෝගිකයින්ට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් හෙට සහ අනිද්දා දිනවල පිරවුම්හල් වසා තැබීම සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් හෝ තීරණක් ගෙන නොමැති බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.