සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා දිනයේ නිවසේ සිට රාජකාරි කිරීමට අවසර

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ කිහිපයකට බදාදා දිනයේ නිවසේ සිට රාජකාරි කිරීමට අවසර

March 16, 2026   10:34 pm

ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබා දී තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙහි සඳහන් වන්නේ, මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම,

කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ
නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ
ජාතික පිළිකා මර්ධන වැඩසටහන
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය,
 

යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතු බවය.

එමෙන්ම ප්‍රවාහන අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාල නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ - වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කල යුතු බවත් දැනුම් දී තිබේ.

මීට අමතරව, ඉහත සෞඛ්‍ය ආයතන වල සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්‍රමෝපායන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව දැනුම් දී ඇත.

තවද, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අනෙකුත් අංශ /ඒකක අවම අවශ්‍යතාවයට සරිලන පරිදි කාර්ය මණ්ඩලය බදාදා දින සීමා කිරීමට අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ද අදාල නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

අදල සම්පූර්ණ නිවේදනය පහතින්,