ඉන්ධන බෙදා හැරීමේ QR ක්‍රමයෙන් වාහන ආනයනකරුවන්ට ගැටලුවක්
March 16, 2026 01:44 pm
ඉන්ධන නිකුත් කිරීම සඳහා රජය විසින් ගෙන ආ QR ක්‍රමවේදය හේතුවෙන් වාහන ආනයනකරුවන් ගැටලුවක මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.
අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ක්‍රමවේදය මගින් වාහන ආනයනය කිරීමේදී එම වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ ගැටලුවකට වාහන ආනයනකරුවන් මුහුණ දී ඇති බැවින් මේ සඳහා යම් කිසි වැඩපිළිවෙළක් නිර්මාණය කර දෙන ලෙසය.
වාහන ආනයනයේදී එම වාහන හම්බන්තොට වරායට පැමිණෙන බවත් එහිදී එම වාහන හම්බන්තොට සිට කොළඹ දක්වා රැගෙන ඒමට නොහැකි බැවින් මෙම ගැටලුවට තමන් මුහුණ දෙන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් සැකසීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමටද වාහන ආනයනකරුවන් සූදානම් බවය.
වාහන ආනයනයේදී මසකට වාහන 100-150ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බවත් පෙන්වා දුන් ඒ මහතා මෙම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට විශේෂිත QR ක්‍රමවේදයක් හෝ ඉන්ධන කොටාවක් නිර්මාණය කිරීම වැදගත් වනු ඇති බවත් මෙහිදී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා,
"අපේ වාහන එන්නේ හම්බන්තොටට. හම්බන්තොට ඉඳලා එනකොට අපිට තෙල් එන්නේ නෑ වාහනවල. QR සිස්ටම් එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොහොමද තෙල් ගන්නේ මේ Unregistered වාහනවලට. සමහර වෙලාවට ශෝරූම් එකේ තියන වාහනයක පෙට්‍රල් නැති වුණොත් කොහොමද පෙට්‍රල් ගන්නේ ? අපි ඇත්තටම රජයෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි මේ වෙලාවෙදි Unregistered වාහනවලට මොනවාහරි QR සිස්ටම් එකක් එහෙම නැත්නම් අපේ CC Number එකකට මොනවා හරි ඉන්ධන කෝටාවක් ඉදිරිපත් කරන්න කියලා. අපේ එක ඩීලර් කෙනෙක් සාමාන්‍යයෙන් වාහන 100-150ක් අතර ප්‍රමාණයක් ගේනවා. මේ සියලු දේවල්වලට අපේ පර්සනල් QR එකෙන් තෙල් ගහන්න බෑ. මේ ප්රශ්නය ඉදිරියේදී රජයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේක රජයට බදු වැඩියෙන්ම ලැබෙන ලාභදායි බිස්නස් එක. ඉතිං අපි කියනවා රජයට මේ ගැන සලකා බලන්න. අපි කැමතියි සාකච්ඡා කරන්න අපි සාකච්ඡා කරලා හරි තැනකට එමු."
