යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 14, 2026   06:37 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (14) දින 15ක් ගතවී තිබේ.

-------------------------------------

09:40 am

ඉරාක බැග්ඩෑඩ්හි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර වාර්තාකරු සඳහන් කර තිබුණේ එම තානාපති කාර්යාලයෙන් දුමාරයක් ඉහළ යන බව දක්නට ලැබුණු බවය.

-------------------------------------

08:34 am

ඉරානයේ තෙල් හා බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පළිගැනීමක් ලෙස අමෙරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ලකරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත එල්ලවූ අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත්කරමින් මේ බව පවසා ඇත.

-------------------------------------

7.30 am

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ හෙළා තිබේ.

අමෙරිකාව තහවුරුකර ඇත්තේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවය.

-------------------------------------

6:37 am

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.