යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 13, 2026 05:41 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (13) දින 14ක් ගතව තිබේ.
============================
-------------------
Update | 07.40 AM
පසුගිය පැය කිහිපය තුළ සෞදි අරාබියේ නැගෙනහිර කලාපය ඉලක්ක කර එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර 10ක් ගුවන් ආරක්ෂණ පද්ධති මගින් බිම හෙළූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසයි.
ඔහු සඳහන් කළේ සෞදි ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ගුවන් ආරක්ෂණ පද්ධති මෙම ඩ්‍රෝන් සියල්ල සාර්ථකව විනාශ කර ඇති බවය.
මෙම ප්‍රහාරය කවුරුන්ද සිදු කළේද යන්න පිළිබඳව තවමත් නිල තහවුරු කිරීමක් නිකුත් වී නොමැති බවද වාර්තා වේ.
-------------------
Update | 07.00 AM
ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදාගත් අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්ව තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 'Boeing KC-135 Stratotanker' වර්ගයේ ඉන්ධන පිරවුම් ගුවන් යානයක් බව අමෙරිකානු හමුදාව තහවුරු කර ඇත.
කෙසේ නමුත් මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් (friendly fire) නොවන බවත්, ඉන්ධන පිරවීමේදී ඇති වූ සිදුවීමක් බවත් සඳහන් කර තිබේ.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (CENTCOM) පවසන්නේ බටහිර ඉරාකයේ සිදුවූ මෙම අනතුරෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවය.
මේ අතර එම සිද්ධියට සම්බන්ධ වූ දෙවැනි ගුවන් යානය මේ වනවිට ආරක්ෂිතව ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
-------------------
Update | 06.50 AM
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති 'එපික් ෆියුරි' මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ එම ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවය.
එමෙන්ම ප්‍රහාරයට ලක්කළ අනෙකුත් ඉලක්ක අතර ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධති ඇතුළත් වන බවත් එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබේ.
-------------------
Update | 06.30 AM
රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට පනවා තිබූ වාරණය තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එළැඹෙන අප්‍රේල් 11 වනදා දක්වා මුහුදේ ඇති යාත්‍රාවල පටවා ඇති රුසියානු තෙල් සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට සිය රට අවසර ලබාදුන් බවය.
ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
-------------------
Update | 06.15 AM
කටාර් එයාර්වේස් ගුවන් සමාගම යුධමය තත්ත්වය මධ්‍යයේ සිය මෙහෙයුම් ක්‍රමයෙන් නැවත ආරම්භ කරමින්, මාර්තු 13 සිට මාර්තු 17 දක්වා අතරතුර අවම වශයෙන් ගුවන් ගමන් 143ක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබේ.
කටාර් හි ගුවන් අවකාශය නිල වශයෙන් වසා ඇති නමුත්, පසුගිය සති අන්තයේ සිට කටාර් ජාතික ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
-------------------
Update | 05.45 AM
ඉරාකයේ එර්බිල් කලාපයේ සිදු වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ප්‍රංශ හමුදා සෙබළු හයදෙනෙකු තුවාල ලබා ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ හමුදාව සඳහන් කරන්නේ, තුවාල ලැබූ සෙබළුන් අසල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙන බවයි.
