නීති විරෝධීව ඩීසල් තොග රැස්කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධීව ඩීසල් තොග රැස්කළ සිව්දෙනෙක් අත්අඩංගුවට

March 12, 2026   06:25 am

නීති විරෝධී ලෙස ඩීසල් තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවන් සිව් දෙනෙකුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව ඊයේ (11) සවස් කාලයේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බියගම පොලිස් වසමේ බියගම පහළ ප්‍රදේශයේදී සෝදිසි කිරීමක් සිදුකර තිබේ.

එහිදී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 19,060ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන බියගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් ගන්නා ලොරි රථ, ටිපර් රථ හා ප්‍රයිමුවර් රථ වැනි වාහන වලට මුදල් ලබාදී එම රථවල ටැංකි වලින් ඩීසල් ලබා ගෙන ඔවුන් විසින් සකස්කර ඇති ටැංකි වලට ගබඩා කර විකිණීම් සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. 

වාහන වලින් ඉන්ධන ලබා ගැනීමට යොදා ගත් මෝටර් සවිකර ඇති බට 02 ක්, යකඩ බැරල් 16 ක් හා මුදල් රුපියල් 381,000ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20, 22, 32 හා 42 වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ හා නෙළුම්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (12) දින මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බියගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.