මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා ඇතුළත් වාර්තාව නීතිපතිට ලබා දීමට අනුමැතිය
March 6, 2026 12:56 pm
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අදාළව 2025 මාර්තු 10 සහ 2025 මාර්තු 21 දිනවල පැවති රජයේ ගිණුම් කාරක සභා රැස්වීම්වලදී ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට එම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 04 වැනි දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය ලබාදීම සිදුවිය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (04) ප්‍රකාරව රජයේ ගිණුම් කාරක සභාවේ අනාවරණය වන කරුණුවලට අදාළ වාර්තාවක් නිරීක්ෂණය සහ ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කිරීමට විධිවිධාන සළසා ඇති අතර ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
2022 වසරේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සිදුකළ සංශෝධනයකට අනුව මෙම ප්රතිපාදනය ඇතුළත් කර ඇති අතර ඒ අනුව නීතිපතිවරයාගේ නිරීක්ෂණයට සහ අවශ්‍ය කටයුතු සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තාවක් නීතිපතිවරයාට ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි.
මෙම වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් කෝපා කමිටුව හමුවට කැඳවා තිබිණි.
කෝපා කමිටුවේදී අනාවරණය වී ඇති පරිදි දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ කරුණු 25 කට අදාළව ඉදිරි පියවර ගැනීම මේ අනුව සිදු කිරීමට නියමිතය.
මෙහිදී වංචා සහ දූෂණවලට සම්බන්ධ බවට සැකකෙරෙන නිලධාරීන් සම්බන්ධයෙන් නීත්‍යනුකූල පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සමග කටයුතු කරන බවත් සෑම මසකම රැස්වී විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර නෛතික පියවර ගැනීමට අවශ්‍ය සහය සහ තොරතුරු ලබාදීමට සූදානමින් සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පැවසීය.
රේගු පද්ධතිය සමහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේවන විට සම්බන්ධ කර ඇති බවත් පෙර සිදුවී ඇති බවට මේවන විට අනාවරණය වූ චංචනික ක්‍රියා තවදුරටත් සිදු කිරීම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම මේ වන විට දත්ත පද්ධතියට ඇතුළු වූ නිලධාරීන් කවුරුන්ද යන්න පැහැදිළිව හඳුනාගත හැකි බැවින් දත්ත වෙනස් කිරීම ඇතුළු කිසිදු ක්‍රියාවකට මේ වන විට ඉඩකඩ නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මුල් ලිපිගොනු අස්ථානගතවීම නිසා මීට පෙර නිර්දේශවලට අදාළ විමර්ශන කටයුතු නැවතී ඇති තත්ත්වයන් පිළිබඳව කාරක සභාව විමසා සිටි අතර එහිදී නිලධාරීන් දැනුම් දුන්නේ වෙනත් මූලාශ්‍ර හරහා අදාළ තොරතුරු ලබා ගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට සහය ලබා දෙන බවයි.
මෙම දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ සුබවාදී ආකල්පයක් නොමැති බවත් එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාවයත් කාරක සභා මන්ත්‍රීවරු මෙහිදී කරුණු දක්වමින් පෙන්වා දුන්හ. දත්ත පද්ධතිය සහ මාර්ගගත පහසුකම් වැඩිදියුණු කිරීමෙන් අතරමැදියන්ගෙන් හා දූෂණයෙන් තොර කඩිනම් සහ විශ්වසනීයත්වයෙන් යුතු සේවයක් ලබා දෙන ආයතනයක් බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා ද මෙහිදී අවධාරණය කළේය.
රේගු දෙපාර්තමේන්තුවට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ද සම්බන්ධ කරමින් නව දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව නව වාහන ලියාපදිංචිය, අයිතිය පැවරීම, වාහන අංක තහඩු සැපයීම හා රියදුරු බලපත්‍ර ලබාදීම යන කාර්යයන් කාර්යක්ෂමතාවකින් යුතුව සිදු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.
