අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක්
March 1, 2026 06:16 pm
මැදපෙරදිග කලාපය තුළ මේ වන විට ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතු කොටගෙන මහජනතාව විසින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කර තැබීමට කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය පවසයි.
දිවයින තුළ අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිතයක් පවතින බවත්, මහජනතාවට ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසටත් ඛනිජ තෙල් සංස්ථාව මඟින් දැනුම් දී ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.
එසේ වුවද ඇතැම් පාර්ශවයන් විසින් සංවිධානාත්මකව ගැලුම් හෝ වෙනත් බාහිර බහාලුම් මඟින් ඉන්ධන රැස්කිරීම්
සිදුකරන බැවින් එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා නැවත දැනුම්දෙන තුරු ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, වැඩබිම්, කෘෂිකාර්මික කටයුතු සඳහා සහ ගෘහ කටයුතු සඳහා හැර ගැලුම්, බෝතල් හෝ වෙනත් දෑ සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාකර අවශ්‍ය පියවර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වේ.
මෙලෙස අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගබඩා කර තබා ගනිමින් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන මෙන්ම, ඉන්ධන සම්බන්ධව සමාජ මාධ්‍යජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පලකරන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව සොයා බලා ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
