කමේනිගේ වගකීම අලිරේසා අරාෆිට

කමේනිගේ වගකීම අලිරේසා අරාෆිට

March 1, 2026   05:07 pm

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව එම ධුරයේ වගකීම සඳහා නව නායකයෙක් පත්කර තිබේ.

ඒ අනුව නව කවුන්සිල ප්‍රධානියා ලෙස ෂියා මූලධර්මවාදී නායක අලිරේසා අරාෆි පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයින් අතර, ඉරාන ජනාධිපති පෙෂෙස්කියන් ද වේ. 

අමෙරිකාව සමඟ එක්ව ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වුණි.

ඉරාන මාධ්‍යවලට අනුව කමේනි මෙලෙස මියගොස් ඇත්තේ ටෙහෙරාන් හි පිහිටි ඔහුගේ කාර්යාලය වෙත එල්ල වූ ප්‍රහාරයකින්.

පසුව ඔහුගේ ප්‍රාණය නිරුද්ධ දේහය එහි සුන්බුන් අතර තිබියදී හමුවූ බව ඔවුන් වාර්තා කළේය. 

ඒ අනුව ඉරානය දින 40ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

1989 වසරේ සිට දශක තුනකට වැඩි කාලයක් ඉරානය පාලනය කළ 86 වියැති කමේනි එරට උත්තරීතර පාලකයා ලෙස මෙන්ම 
රාජ්‍යයේ ප්‍රධානියා ලෙසද, ඉරාන විප්ලවීය හමුදාව ද ඇතුළුව සියලු හමුදාවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

1979 වසරේ එවක අමෙරිකානු හිතවාදී ෂාහ් රජුගේ පාලනය පෙරළා දමමින් රුහුල්ලා කමේනි ඉරානයේ බලය ඩැහැගත් අතර අයතොල්ලා අලි කමේනි බලයට පත්වූයේ ඔහුගෙන් පසුවය.

ඔවුන් යටතේ ඉරානය පාලනය වූයේ දැඩි ඉස්ලාම් මූලධර්මවාදී මතවලට යටත්වයි.

කමේනිගේ මරණය සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය මැදපෙරදිග රටවල් ගණනාවක ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරු හා ස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් දියත් කළේ සමස්ත මැදපෙරදිග කලාපයම පාහේ යුද්ධයකට ඈඳාගනිමිනි.

ඉරානය තවදුරටත් මැදපෙරදිග රටවලට ප්‍රහාර එල්ල කළහොත් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ අරාබි කලාපයේ යුද්ධයක් පිළිබඳ භීතියක් නිර්මාණය කරමින්ය.

ඉරානයේ න්‍යාෂ්ටික වැඩසටහන මුල් කරගනිමින් අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානය සමඟ ගැටුමක පැටලී සිටියේ වසර කිහිපයක සිටය.

එහි උච්චතම අවස්ථාව එළැඹුණේ ඊයේ (28) අමෙරිකාව , ඊශ්‍රායල හමුදා හා ඒකාබද්ධව ඉරානයට දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟයි.

මෙම ප්‍රහාර එල්ල වුණේ ඉරානයේ ටෙහ්රාන් , ඉස්ෆහන්, කොම්, කරාජ් සහ කේමන්ෂා යන නගර වෙතයි.

ඊට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයත් ප්‍රථමයෙන්ම  ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත් ඊශ්‍රායලය එරට සතු අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් එම බොහෝ ප්‍රහාර ව්‍යර්ථ කිරීමට සමත්වුණි. 

ඉන් පසු ඉරානය , අසල්වැසි රටවල ස්ථාපිත අමෙරිකානු හමුදා කඳවුරු සහ ඉලක්ක වෙත ද ප්‍රහාර දියත් කළේ සමස්ත මැදපෙරදිග කලාපයම පාහේ යුද්ධයකට ඈඳාගනිමින්.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කටාර් රාජ්‍යය, සෞදි ආරාබිය, කුවේට් රාජ්‍යය, ජෝර්දානය සහ ඉරාකයේ ස්ථාන රැසකටත් ඉරානය ප්‍රහාර එල්ල කළේය. 

අමෙරිකාවේද පූර්ණ සහාය ලද මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් නම් කරනු ලැබ තිබුණේ 'Operation Roaring Lion' ලෙසයි.

සිය අසහාය නායකයාගේ අභාවයත් සමග කම්පා වූ ඇතැම් ඉරාන වැසියන් වීථි සහ සිද්ධස්ථාන වෙත රැස්ව සිය ශෝකය පළ කළහ. 

කෙසේ නමුත් ඇතැම් ඉරාන වැසියන් ඊට හාත්පසින් වෙනස් ප්‍රතිචාර දක්වමින් වීථි බැස ප්‍රීතිඝෝෂා පළ කළේය. 

ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන හමුදා ප්‍රධානීන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඒ අතරට ඉරාන ආරක්ෂක ඇමති අසීස් නසීර්සාදේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අබ්දුල්රහීම් මුසාවී, ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ ප්‍රධානියා, සහ ඉරාන ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයාද අයත්ය.

එමෙන්ම ප්‍රහාරවලින් කමේනිගේ දියණිය, බෑණා, සහ මුණුබුරෙක් ද මියගිය පිරිස අතරට අයත් බව වාර්තා වුණි. 

මෙතෙක් එල්ල වු ප්‍රහාරවලින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි ඉරානයේ රතු අඩසද සංවිධානය තහවුරු කරන අතර ඉන් මරණ 108ක්ම වාර්තා වී ඇත්තේ කාන්තා පාසලකට ඊයේ එල්ල වු ප්‍රහාරයෙනි. 

ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ මරණින් පසුව එරට අන්තර්වාර පාලනය සඳහා ජනාධිපති මසූද් පෙෂෙස්කියන්, එරට අධිකරණයේ ප්‍රධානියා, සහ විනිසුරුවරයෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කර තිබේ. 

සාමාජිකයින් 88 දෙනෙකුගෙන් යුතු 'නායකත්ව ප්‍රවීණයන්ගේ සමුළුව' මඟින් ඉරානයේ මීලඟ ආධ්‍යාත්මික නායකයා හැකි ඉක්මනින් පත් කරගනු ඇති බව සඳහන් ය.

මේ අතර අද දිනය පුරාත් කලාපීය රටවල් රැසකට ඉරාන ප්‍රහාර එල්ල වුණි.

අද පස්වරුවේ එමීර් රාජ්‍යයේ සාජා හි ප්‍රධාන වෙළෙඳ සංකීර්ණයක් වෙත එල්ල වූ ප්‍රහාරයකින් එහි ගින්නක් ඇති වුණි.

මෙවන් පසුබිමක පලාව් ධජය යටතේ යාත්‍රා කරමින් පැවති බහාලුම් ප්‍රවාහන නෞකාවක් ඕමානය ආසන්න මුහුදේ දී ප්‍රහාරයකට එක්ව තිබේ.

මේ අතරවාරයේ සිය නායකයාගේ ඝාතනයට වගකිව යුතු ඊශ්‍රායල සහ අමෙරිකානු සතුරන්ගෙන් පළිගන්නා බව ඉරානය අවධාරණය කරයි.

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, එවන් පළිගැනීමක් කිරීමට සිය රටට නීත්‍යානුකූල අයිතියක් සහ වගකීමක් ඇති බවයි.