අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට - තද වැසි ක්‍රමයෙන් අඩුවෙයි
February 22, 2026 03:32 pm
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව හෙට (23) දිනයේ කාලගුණ තත්ත්වය ගැන අද (22) ප.ව. 2ට නිවේදනයක් නිකුත්කරමින් මේ බව පැවසීය.
කෙසේ නමුත් හෙට දිනයේත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.
එමෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට ප.ව. 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ දැක්වේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
